පසුගිය කාලසීමාවේ පැවති සාමාන්‍ය කාලගුණික තත්ත්වයෙන් පසුව, ලොව පුරා කාලගුණ රටාවන් උඩුයටිකුරු කළ හැකි ප්‍රබල ‘එල් නිනෝ’ (El Niño) තත්ත්වයක් 2026 මැයි සහ ජූලි අතර කාලසීමාවේදී යළිත් ඇති වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) අනතුරු අඟවයි.
පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර සමක කලාපීය මුහුදු මතුපිට උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම ‘එල් නිනෝ’ ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් වසර දෙකත් හතත් අතර කාලයකදී ඇතිවිය හැකි මෙම තත්ත්වය, මාස 9 සිට 12 දක්වා කාලයක් පැවතිය හැකිය. මෙය ගෝලීය වශයෙන් වැසි රටාවන්, නියඟය සහ දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයන් කෙරෙහි සෘජුවම බලපෑම් කරයි.
පැසිෆික් සාගරය තුළ උෂ්ණ ජලය එකතුවීමක් සිදුවීම එල් නිනෝ තත්ත්වයක් ආරම්භ වීමට පෙර ඇතිවන වැදගත් ලක්ෂණයක් ලෙස සැලකේ. මේ නිසා, ලෝකයේ විවිධ කාලගුණ මධ්‍යස්ථාන විසින් එල් නිනෝ තත්ත්වයක් ඉදිරියේදී ඇතිවීම සම්බන්දව ඉහළ විශ්වාසයක් පළ කර ඇත.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ දේශගුණ අනාවැකි අංශයේ ප්‍රධානී විල්ෆ්‍රාන් මවුෆුමා ඔකියා මහතා පවසන්නේ, වසරේ මුල පැවති මධ්‍යස්ථ තත්ත්වය අවසන් වී ඇති අතර දේශගුණික ආකෘති දැන් ඉතා පැහැදිලිව ‘එල් නිනෝ’ තත්ත්වයක පැමිණීම පෙන්නුම් කරන බවයි.
මැයි-ජූලි කාලය තුළ ලොව බොහෝ ප්‍රදේශවල ගොඩබිම් මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම ඇමරිකාව, යුරෝපය සහ උතුරු අප්‍රිකාව මෙහි බලපෑමට තදින්ම හසුවනු ඇත.
දකුණු ඇමරිකාව, මධ්‍යම ආසියාව සහ අප්‍රිකාවේ සමහර ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි අතර, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ දකුණු ආසියාවේ (ශ්‍රී ලංකාව ඇතුළුව) ඇතැම් ප්‍රදේශවලට දැඩි නියඟයක් ඇති වීමේ අවදානමක් පවතී.
දේශගුණික විපර්යාස නිසා ‘එල් නිනෝ’ ඇති වන වාර ගණන වැඩි වන බවට සාක්ෂි නැතත්, පවතින ගෝලීය උණුසුම නිසා එහි බලපෑම් වඩාත් දරුණු විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. උණුසුම් වූ සාගර සහ වායුගෝලය මගින් අධික තාප තරංග (Heatwaves) සහ අසාමාන්‍ය වර්ෂාපතනයන් සඳහා අවශ්‍ය ශක්තිය සපයනු ලබයි.
මෙම දේශගුණික වෙනස්වීම් හමුවේ වඩාත් සංවේදී වන්නේ කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, බලශක්තිය සහ සෞඛ්‍ය යන අංශයන්ය. එබැවින් එළඹෙන නියඟ හෝ අධික වැසි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රාජ්‍යයන් සහ මානුෂීය සංවිධාන දැන් සිටම සැලසුම් සකස් කළ යුතු බව WMO අවධාරණය කරයි.
කෙසේවුවද දකුණු ආසියානු කලාපයේ නිරිතදිග මෝසම් වර්ෂාව පිළිබඳ නිශ්චිත අනාවැකිය එළඹෙන අප්‍රේල් 28 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එතෙක් අවධානයෙන් සිටීමත්, විය හැකි පාරිසරික බලපෑම්වලට අනුවර්තනය වීමත් අප සැමගේ වගකීමකි.


