27.9 C
Galle

කොග්ගල ඇඟලුම් සේවිකාවගේ මරණයේ සුලමුල හෙළි වෙයි

Published:

පසුගිය මැයි 03 වනදා අළුයම හබරාදුව ප්‍රදේශයට ඇදහැලුණු දැඩි වර්ෂාවත් සමඟ එල්ල වූ අකුණු ප්‍රහාරයකින් කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ තරුණියක මියගිය බවට මුලින් වාර්තා විය. එහෙත් එම මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඇගේ මරණයට හේතුව සෘජුවම ඇග් සිරුරට අකුණු සැර වැදීම නොවන බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පස්ගොඩ, රොටුඹ ප්‍රදේශයේ පදිංචිව සිටි ඉමාෂා මදුභාෂිනි හිතවංශ නමැති 25 හැවිරිදි තරුණියකි. ඇය හබරාදුව කොක්වත්ත ප්‍රදේශයේ නිවසක උඩුමහලේ තවත් යෙහෙළියක සමඟ නේවාසිකව සිට ඇත. එදින අළුයම එල්ල වූ අකුණු ප්‍රහාරයෙන් ඔවුන් රැඳී සිටි නිවසේ උඩුමහලේ වහලයට බිත්ති වලට සහ විදුලි පද්ධතියට දැඩි හානි සිදු විය.

සිද්ධියෙන් පසු තුවාල ලැබූ අනෙක් තරුණිය දැඩි වර්ෂාව මධ්‍යයේ නිවසින් පිටතට පැමිණ උදව් ඉල්ලා කෑගසා ඇති අතර, අසල්වාසීන් එක්ව ඔවුන් දෙදෙනා 1990 ගිලන් රියෙන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කරන විටත් ඉමාෂා මදුභාෂිනි මියගොස් සිට ඇත.

අකුණක්ද? වෙනත් අනතුරක්ද?

හබරාදුව මරණ පරීක්ෂක කමල් ගාමිණී තිලක සිදුකළ ස්ථානීය පරීක්ෂණයේදී මරණය පිළිබඳ සැකයක් මතු විය. ඔහු නිරීක්ෂණය කළේ අකුණු සැර වැදීමකදී සිරුරේ දක්නට ලැබෙන ලක්ෂණ මියගිය තරුණියගේ සිරුරේ නොමැති බවයි. ඒ වෙනුවට ඇගේ නළලට ඉහළින් ගැඹුරු තුවාලයක් තිබූ අතර, ඇය නිදා සිටි ඇඳ මත රුධිරය ගලා ගොස් තිබිණි.

අකුණු ප්‍රහාරය හේතුවෙන් වහලයේ උළු කැට ගැලවී කාමරයේ බිමට සහ ඇඳ මතට වැටී තිබූ බව මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විද්‍යාත්මක නිගමනය

කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චිත්‍රාණි වීරසිංහගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව, නිරීක්ෂණ සහ ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව, මෙම මරණය අකුණක් වැදීම නිසා ගොඩනැගිල්ලට සිදුවූ හානි හේතුවෙන් වහලයේ කොටසක් (උළු කැටයක්) හිසට කඩා වැටීමෙන් සිදු වූවක් බව තහවුරු විය. මරණයට සෘජු හේතුව ලෙස දක්වා ඇත්තේ “මොට බලයකින් හිසට සිදු වූ තුවාල” වේ.

මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මියගිය තරුණියගේ පියා වන උපුල් හිතවංශ මෙසේ පැවසීය,

“අප පදිංචිව සිටින්නේ පස්ගොඩ, රොටුඹ ප්‍රදේශයේ. මා වගා කටයුතුවල නිරත වෙනවා. අපට දියණියන් තිදෙනෙක් සිටිනවා. මියගොස් සිටින්නේ දෙවැනි දියණියයි. ඇය කොග්ගල ගාමන්ට් එකේ රැකියාව කළා. හබරාදුව කොක්වත්ත ප්‍රදේශයේ නිවසක උඩ තට්ටුවේ අප ප්‍රදේශයේම පදිංචි තවත් හිතවත් දරුවෙක් සමග නැවතී සිටියා. දුව සමග කාමරයේ නැවතී සිටි අනෙක් දරුවාගේ අම්මා අද (03) උදේ දෙකයි තිහට විතර අපේ නිවසට ඇවිත් කිව්වා, දුව ඉන්න නිවසට අකුණක් ගහලා තුවාල වෙලා දරුවන් හබරාදුව රෝහලට ඇතුල් කළා කියලා, අපි ඉක්මනට හබරාදුවට එන්න පිටත් වුනා. නමුත් අතරමගදී දැනගත්තා අපේ දියණිය මියගිහින් කියල.”

සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් තරුණිය මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර හබරාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

පසු සටහන – අකුණු සහ විදුලි කෙටීම් සම්බන්දව ඔබ දැනගතයුතු සියල්ල සහ අකුණු විදුලි කෙටීම් වලින් ආරක්ෂා වන ආකාරය සම්බන්දව අප විසින් සම්පාදනය කළ ලිපිය කියවන්න – “හෙන ගහපන්“ කිව්වට හෙන ගහන හැටි දන්නවද?https://rata.lk/49363/

Rata.lk මගින් කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ. කරුණාකර අපගේ නිල වෙබ් අඩවිය, Facebook හා Instagram ඔස්සේ සම්බන්ධව සිටින්න. ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි.

“අදම ඉගන ගන්න, හෙට ආරක්ෂා වන්න“

Related articles

error: Content is protected !!