ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් තද වැසි සහ ආපදා තත්ත්වයන් වාර්තා වෙමින් පවතී. පවතින ආපදා තත්ත්වය හමුවේ පවුල් 900කට අධික සංඛ්‍යාවක පුද්ගලයින් 2,600කට වැඩි පිරිසක් මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුළ ක්‍රමයෙන් දුර්වල වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කළ ද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැක. පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුතර, අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 110 කි.
පීඩාවට පත් ජනතාව සඳහා දිස්ත්‍රික්ක කිහිපයකම මධ්‍යස්ථාන පිහිටුවා ඇත,
පුත්තලම පවුල් 474ක පුද්ගලයින් 1,264ක් මධ්‍යස්ථාන 6ක
බදුල්ල පවුල් 369ක පුද්ගලයින් 1,003ක් මධ්‍යස්ථාන 13ක
කොළඹ, කෑගල්ල සහ නුවරඑළිය පවුල් 96ක පුද්ගලයින් 334ක
ගංගා සහ ජලාශවල අනතුරු ඇඟවීම්
කළු ගඟ (මගුර), කුඩා ගඟ (කලවැල්ලෑව), නිල්වලා ගඟ (තල්ගහගොඩ) සහ අත්තනගලු ඔය (දුනමලේ) යන ගංගා ආශ්‍රිතව ඇතැම් ස්ථානවල ජල මට්ටම් මේ වන විට අනතුරු ඇඟවීමේ (Alert) මට්ටමට පැමිණ තිබේ. මේ හේතුවෙන් රාජාංගනය, ලුණුගම්වෙහෙර, වෙහෙරගල සහ දැදුරු ඔය ඇතුළු ප්‍රධාන ජලාශ 18ක වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග බලධාරීන් පියවර ගෙන ඇත.
නායයෑමේ අවදානම සහ ගමනාගමනය
දිස්ත්‍රික්ක 11ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා ‘දෙවන මට්ටමේ’ (Amber) අවදානමක් පවතී.
මාර්ග සහ දුම්රිය ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇත:
මන්නාරම – මැදවච්චිය සහ රඹුක්කන – අයිගයිවෙල අතර දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ.
මහනුවර – තලාතුඔය මාර්ගයේ පාලමක් ගිලා බැසීම නිසා එම මාර්ගය වසා දමා ඇති අතර, මාතලේ රිවස්ටන් මාර්ගය විවෘතව පවතින්නේ සැහැල්ලු වාහන සඳහා පමණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මගින් DEWN පද්ධතිය හරහා කෙටි පණිවිඩ 35,000ක් නිකුත් කර ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අකුණු අනතුරු පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනු ලැබේ.


