ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට තවදුරටත් තද වැසි සහ ආපදා තත්ත්වයන් වාර්තා වේ. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී ඇති අතර, ජන ජීවිතයට මෙන්ම දේපළවලට ද දැඩි හානි සිදුව ඇත.
මි.මී. 150 ඉක්මවූ ඉතා තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, අද (15) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැක. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරේ. ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කුලියාපිටිය ප්‍රදේශයෙන් (මි.මී. 193) වාර්තා වී ඇත.
ආපදා තත්ත්වය සහ ජීවිත හානි
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද උදෑසන වාර්තාවට අනුව මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් එක් මරණය බැගින් මරණ 2ක් වාර්තා වී ඇත. දිස්ත්‍රික්ක 8ක පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු ආපදාවට ලක්ව ඇති අතර, පුද්ගලයින් 104 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටී. නිවාස 88කට අර්ධ හානි සිදුව ඇති බව ද එම මධ්‍යස්ථානය තහවුරු කරයි.
ගංගා පිටාර ගැලීම සහ සුළු ගංවතුර අවදානම
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ ඉදිරි පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
අත්තනගලු ඔය ද්‍රෝණියට ඇදහැලෙන වර්ෂාව නිසා ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර දිවුලපිටිය, ගම්පහ, මීරිගම සහ ජා-ඇල ඇතුළු ප්‍රදේශවලට අවදානමක් පවතී.
කළු ගඟ (කුඩා ගඟ) බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර ප්‍රදේශවල පහත් බිම් යටවීමේ අවදානමක් පවතින බැවින් පැය 48ක සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ජලාශ 40ක් වාන් දමයි
දිවයිනේ ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් මේ වන විට වාන් දමමින් පවතී. ඉඟිණිමිටිය ජලාශයේ වාන් දොරටු 6ක් සහ යාන් ඔය ජලාශයේ දොරටු 2ක් ද තවදුරටත් විවෘතව පවතින බැවින් පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතුය.
නායයෑම් අනතුරු ඇඟවීම් සක්‍රීය වෙයි
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 13ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
දෙවන මට්ටම (Amber): කොළඹ (සීතාවක), ගාල්ල (නෙලුව), කළුතර, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇත.
පළමු මට්ටම (Yellow): බදුල්ල, මාතලේ, මාතර, ගම්පහ, මොණරාගල, නුවරඑළිය, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක මේ යටතට ඇතුළත් වේ.වර්ෂාව දිගින් දිගටම පැවතුණහොත් ප්‍රදේශ කිහිපයකට “රතු නිවේදන” (ඉවත් වීමේ නියෝග) නිකුත් කිරීමට ඉඩ ඇති බව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස බලධාරීහු මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිති.



