28.9 C
Galle

නිරිතදිගට තද වැසි සහ සුළං, දිස්ත්‍රික්ක 4කට නායයෑමේ නිවේදන, මුහුදු යෑමෙන් වළකින්න!

Published:

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය 36ක කාලය තුළ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව, ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අනතුරු ඇඟවීමක්

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු වීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර හා නාවික ප්‍රජාව වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ. මැයි 28 වැනිදා පස්වරු 4.30 සිට පැය 24 ක කාලයක් සඳහා බලාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 65 ත් දක්වා ඉහළ යා හැකි බැවින්, එම මුහුදු ප්‍රදේශ විටින් විට බෙහෙවින් රළු විය හැක. මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී දැඩි ලෙස අවධානය යොමු කරන ලෙස දැනුම් දී තිබේ.

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 කට අදාළව නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් යාවත්කාලීන කර ඇත. මෙම නිවේදනය මැයි 28 වැනිදා පස්වරු 4.00 සිට මැයි 29 වැනිදා පස්වරු 4.00 දක්වා බලාත්මක වේ.

අදියර 2 (Amber ඇඟවීම්) යටතේ ඇති ප්‍රදේශ,

නායයෑමේ අවදානම ඉහළ බැවින් සලකා බැලිය යුතු ප්‍රදේශ:

  • කළුතර දිස්ත්‍රික්කය: බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.
  • රත්නපුර දිස්ත්‍රික්කය: අයගම, ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.

අදියර 1 (Yellow අවධානය යොමු කිරීමේ ඇඟවීම්) යටතේ ඇති ප්‍රදේශ:

  • කළුතර දිස්ත්‍රික්කය: මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.
  • කෑගල්ල දිස්ත්‍රික්කය: බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට, යටියන්තොට සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.
  • රත්නපුර දිස්ත්‍රික්කය: නිවිතිගල, පැල්මඩුල්ල, කලවාන, කිරිඇල්ල සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.

අදාළ නායයෑම් අවදානම් කලාපවල සහ කඳු බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව, පොළොව ගිලාබැසීම්, ගස් ඇලවීම් සහ පස් කඩාවැටීම් වැනි පූර්ව ලක්ෂණ කෙරෙහි දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දන්වා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!