ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට අදාළ කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.
එම අනාවැකියට අනුව, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.
දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ අංශ පවසනවා.
නිරිත දිශාවෙන් හමා එන සුළංවල සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වන අතර, කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම, දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශවලද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව සඳහන්.
මේ හේතුවෙන් කන්කසන්තුරය සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර, සෙසු මුහුදු ප්‍රදේශද තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
විශේෂයෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2ත් 2.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත්, එය ගොඩබිමට ඇදෙන රළ උස නොවන බවද අවධාරණය කර තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර, එවිට මුහුදු ප්‍රදේශ ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බවද සඳහන්.
මේ අතර, බෙංගාල බොක්ක සහ ආරාබි මුහුද සඳහා ඉදිරි දින තුනට බලපාන “තද සුළං සහ රළු මුහුද” පිළිබඳ වෙනම අනතුරු ඇඟවීමක්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
එම නිසා ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස් කාලගුණ නිවේදන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.



